අතීත සංස්‌කාරයන් විපාක දී අවසන්වන වර්තමානයේ දී, පිංවත් ඔබ අනාගතයට, අනිත්‍ය වූ සංස්‌කාරයන් රැස්‌කොටගන්නවා. අතීත සංස්‌කාරයන් වර්තමානයේද විපාක දෙනකොට, අනාගතයට සංස්‌කාරයන් එකතුකොට ගන්නවා. රූපය කෙරෙහි ඇලීම්, ගැටීම්, උපේක්‍ෂාවන්, හඳුනාගැනීම්, හොඳින් උපකාර කරනවා, අනාගත ලෝකය තීන්දු කරන සංස්‌කාරයන් රැස්‌කොට දෙන්නට. වර්තමානයේ ඔබේ ඇසට, කනට, නාසයට ඵස්‌සය වන සෑම රූපයක්‌ම අතීත සංස්‌කාරක ඵලයක්‌මයි. සුගතිය, දුගතිය, මහේශාක්‍ය භාවය, අල්පේශාක්‍ය භාවය, උගත් භාවය, නූගත් භාවය, ආයුෂ, වර්ණය, සැපය, බලය…. සමාජයේ පවතින මේ හැම ධර්මතාවයක්‌ම විවිධත්වයක්‌ම, අනිත්‍ය වන සංස්‌කාරයන්ගේ ඵලයක්‌මයි. වර්තමානයේ මනුෂ්‍යයා අත්විඳි සෑම සැප වේදනාවක්‌ම, දුක් වේදනාවක්‌ම, අතීත සංස්‌කාරයන්ගේ ඵලයක්‌මයි. පිංවත් ඔබ වර්තමාන සමාජයේ දකින මේ විවිධත්වය, සංස්‌කාරයන්ගේම අනිත්‍ය භාවය වශයෙන් දකිමින්, සංස්‌කාරයෝ අනිත්‍යයි… අනිත්‍යයි… අනිත්‍යයි වශයෙන් මෙනෙහි කරන්න.
පිංවත් ඔබ අතීතයේ ඔබ රැස්‌කොට ගත්තා වූ, විපාක දුන්නා වූ, සංස්‌කාරයන්ගේ අනිත්‍ය භාවය නුවණින් දකිමින්, ඔබට පිංවන්ත අම්මා කෙනෙකු, තාත්තා කෙනෙකු ලැබුණේ, ඔබට හොඳ අධ්‍යාපනයක්, රැකියාවක්, ව්‍යාපාරයක්, බිරිඳ, දරුවන්, සමාජ තත්ත්වයක් ලැබුණේ අතීත කුසල් සංස්‌කාරයන් නිසාමයි. ඒ සංස්‌කාර අනිත්‍ය වෙලා යනවා.
මෙය සටහන් තබන භික්‍ෂුවගේ අතීත කුසල් සංස්‌කාරයන් නිසාම ලැබුණු අම්මා, තාත්තා අද ලෝකයේ නැහැ. වෙනස්‌ව ගියා, අනිත්‍ය වී ගියා. භික්‍ෂුවට අතීත කුසල් සංස්‌කාර නිසාම ලැබුණු ගිහි ජීවිතය වෙනස් වී ගියා. මේ පැවිදි ජීවිතයත් කවදාහරි සංස්‌කාරයන්ට අදාළව අනිත්‍ය වී යනවා. ඔබ අතීතයේ අම්මා, තාත්තාට කීකරුව ජීවත්වෙලා, වැඩිහිටියන්ට ගරුකරලා, මව් පිය උපස්‌ථානය කරලා, පන්සල් ගිහිල්ලා, පිංකම් කරලා, දඹදිව වන්දනාවේ ගිහිල්ලා, දන් දීලා, සිල් සමාදන් වෙලා, යම් කුසල සංස්‌කාරයන් අතීතයේ රැස්‌කොට ගත්තා නම් එම සෑම කුසල් සංස්‌කාරයක්‌ම අනාගතයේ විපාක දී අනිත්‍ය වෙලා යනවා. පිංවත් ඔබ අතීතයේ සිදුකළා වූ සෑම අකුසල් ක්‍රියාවක් තුළින්ම රැස් වූ අකුසල් සංස්‌කාරයන්ද අනාගතයේ විපාක සකස්‌කොට දීලා අනිත්‍ය වී යනවා.
පිංවත් ඔබ දෑස් පියාගෙන, අතීතය පුරාවට ඔබ සිදුකළ සැම කුසල්, අකුසල් සංස්‌කාරයක්‌ම සිහිපත්කොට සංස්‌කාරයෝ අනිත්‍යයි, අනිත්‍යයි … වශයෙන් නුවණින් මෙනෙහි කරගන්න.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයන් කියන්නේ, අතීත පාරමී භව ගමනේ කුසල් සංස්‌කාරයන්ගේ ඵලයක්‌මයි. ඒ කුසල් සංස්‌කාරයන් අනිත්‍යයට ගියා. සීවලී මහ රහතන් වහන්සේ ප්‍රත්‍ය ලාභීන් අතර අගතැන ලැබුවේ අතීත කුසල් සංස්‌කාරයයන්ගේ ඵලයන් නිසා. යශෝදරාව, රාහුල, සිදුහත් කුමරුන්ගේ බිසව, පුතණුවන් වුණේ අතීත කුසල් සංස්‌කාරයන්ගේ ඵලයන් නිසා. නමුත් මේ සෑම කුසල් සංස්‌කාරයක් ම අනිත්‍ය වී ගියා. අතීතයේ පිංවත් ඔබ සක්‌විති රජකෙනෙක් වුණේ, දිව්‍ය තල වලට අධිපති ශක්‍ර දෙවියන් වුණේ, කුසල් සංස්‌කාරයන් නිසා. මේ සෑම අතීත කුසල සංස්‌කාරයක්‌ම අනිත්‍ය වී ගියා. අතීතයේ ඔබට බුදුරජාණන් වහන්සේ මුණගැසුණේ, සෘෂිවරුන් හැටියට එර්දියෙන් ගමන් කරන්නට හැකියාව ලැබුණේ, සශ්‍රීක දිව්‍ය තල වල, බ්‍රහ්ම තල වල ඔබ උපත ලැබුවේ ඔබේ කුසල් සංස්‌කාරයන් නිසා. මේ සෑම කුසල් සංස්‌කාරයක්‌ම අනිත්‍ය වී ගියා. අතීතයේ ඔබ සතර අපායන්ට වැටුණේ, සෙම්, සොටු, පුන්නක්‌කු, තණකොළ කෑවේ. ගින්දර, ලෝදිය බිව්වේ, අකුසල් සංස්‌කාරයන් නිසා. මේ සෑම සංස්‌කාරයක්‌ම අනිත්‍ය වී ගියා. පිංවත් ඔබ පටිච්ඡසමුප්පන්නව පැමිණි භව ගමනේදී ඔබ අත්විඳි සෑම සැප වේදනාවක්‌ම, සෑම දුක්‌වේදනාවක්‌ම අතීත කුසල් අකුසල් සංස්‌කාරයකම ඵලයක්. සෑම සැප දුක් සංස්‌කාරයක්‌ම අනිත්‍ය වුණා.
දැන් පිංවත් ඔබට වැටහෙනවා, සෑම අතීත වර්තමාන, සංස්‌කාරයක්‌ම අනිත්‍ය භාවයට පත්වෙනවාය කියලා. අතීත සංස්‌කාරත්, වර්තමාන සංස්‌කාරත්, විපාක දී අවසන් වෙනවා නම්, ඔබ අනාගතයේදී මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය උපයෝගීකොටගෙන, රැස්‌කිරීමට බලාපොරොත්තුවන කුසල් සංස්‌කාරයන් නිත්‍ය වෙයිද, අනිත්‍ය වෙයිද? පිංවත් ඔබ ‘මම අනාගතයේ මේ විදිහේ පිංකම් කරනවා. මේ විදිහට දන් දෙනවා, සීල ව්‍යාපාර පවත්වනවා, ධර්මදාන පිංකම් කරනවා, අට මහා කුසල් කරනවා, මේ විදිහට පන්සල්, ආරණ්‍ය හදනවා කියලා යම් කුසල් ධර්මයන් කෙරෙහි අනාගත බලාපොරොත්තු තිබේ නම්, එම කුසල් සංස්‌කාරයන්, අනිත්‍ය භාවයට පත්වන කුසල් සංස්‌කාරයන්මයි. මම අනාගතයේ කුසල් දහම් වඩමින්, දෙවියන්, බ්‍රහ්මයන් වෙනවා යැයි බලාපොරොත්තුවක් ඔබට තිබේනම්, එම දිව්‍ය බ්‍රහ්ම, ජීවිතත් අනිත්‍ය වී යන කුසල් සංස්‌කාරයන්මයි.
ආනන්තරීය පාපකර්මය සිදුකොට ගැනීම නිසාම අවිචී මහා නිරයේ දුක් විඳින දේවදත්ත නිරිසතා, අනාගතයේ යම් දවසක පසේ බුදුරජාණන්වහන්සේ නමක්‌ව පිරිනිවන්පාන්නේ ද සංස්‌කාරයන්ගේ අනිත්‍ය භාවය නිසාමයි. අනාගතයේ බුද්ධෝත්පාද කාලයක්, අබුද්ධෝත්පාද කාලයක් පහළ වන්නේ, සත්ත්වයා කල්ප විනාශයන්ට මැදි වී, ඉරවල් හතක උෂ්ණත්වයෙන් අවුරුදු දස දහස් ගණන් පිච්චි පිච්චී මැරෙමින් ඉපදෙන්නේ සංස්‌කාරයන්ගේ අනිත්‍ය භාවය නිසාමයි. පිංවත් ඔබේ ඇලීම්, ගැටීම් හේතුවෙන් සකස් වන හඳුනාගැනීම්, අනිත්‍ය භාවයට පත්වන වේගයෙන්ම සංස්‌කාරයන් රැස්‌වීම වේගවත් වෙනවා.
වෙනස්‌වන, විකෘතිවන අනිත්‍ය වන සංස්‌කාරයෝ දුකටමයි හේතුවන්නේ කියලා නුවණින් දකිමින් ජීවත්වෙන්න. මනුෂ්‍යයා වැඩිපුරම කරන්නේ අකුසල්. විපාක නොදී, විපාක දීමට අවස්‌ථාවක් නොලැබී, සත්ත්වයාගේ එකතුවන අකුසල් කල්ප විනාශයන්හිදී, කිසිදු භේදයකින් තොරව, සත්ත්වයා පුච්ච පුච්චා විපාක දෙනවා. සංස්‌කාරයෝ අනිත්‍යයි, කටුකයි, බියකරුයි, රුදුරුයි.
- අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ
(උපුටා ගැනීම මහරහතු වැඩිමග ඔස්සේ Email සමූහය)
0 Comments