ජාතීන් අතර මිත්‍රත්වය ගොඩනැගීම වචනයට පමණක් සීමා නොවිය යුතුයි - අධිකරණ ඇමති,

 ජාතීන් අතර මිත්‍රත්වය ගොඩනැගීම වචනයට පමණක් සීමා නොවිය යුතුයි - අධිකරණ ඇමති, 

ජාතීන් අතර මිත්‍රත්වය ගොඩනැගීම වචනයට පමණක් සීමා නොවී ක්‍රියාවෙන්ද තහවුරු කළ යුතු බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. යුද්ධයෙන් විනාශ වූ ගොඩනැගිලි යළි ඉදිකිරීමට වඩා යුද්ධය හේතුවෙන් කැඩී බිඳී ගිය සිත් සුවපත් කිරීමට වැඩි කාලයක් ගතවන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. “දිට්වා හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණ දුන් පවුල් සඳහා නිවාස ලබාදීමේ වැඩසටහන” යටතේ සෙන්චෝලේ ඛේදවාචකයට මුහුණ දුන් පුද්ගලයන් 18 දෙනෙකු සහ අතුරුදන් වූ පුද්ගලයන්ගේ පවුල් 3ක් සඳහා නිවාස ඉදිකර ගැනීමට රුපියල් ලක්ෂ 50 බැගින් සහ අක්කර භාගයක ඉඩම් ලබාදීමේ වැඩසටහනේ මූලික අදියරට අදාළ චෙක්පත් පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. අද (25) පෙරවරුවේ කිලිනොච්චිය පරන්තන් නගරයේ පරන්තන් ග්‍රාම සංවර්ධන සමිති ශාලාවේදී මෙම වැඩසටහන පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ යුද්ධයෙන් ජයග්‍රාහකයෙකු නොමැති බවත්, දෙපාර්ශ්වයම එහිදී පරාජයට පත්වන බවත්ය. යුද්ධයෙන් ඉතිරි වන්නේ කටුක හා කණගාටුදායක අත්දැකීම් පමණක් බවද ඔහු පැවසීය. වසර දෙකකට පෙර උතුරේ ජනතාව වත්මන් රජයට මිත්‍රත්වයේ දෑත් දිගු කළ බවත්, රජයට උතුර සහ දකුණ ලෙස කිසිදු භේදයක් නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. අතුරුදන් වූ පුද්ගලයන්ගේ පවුල් සඳහා සාධාරණය ඉටු කිරීම මෙන්ම අතුරුදන් වූවන් සම්බන්ධ පැමිණිලි විමර්ශනය කිරීම සඳහා වත්මන් රජය කැපවී කටයුතු කරන බවද ඔහු අවධාරණය කළේය. සෙන්චෝලේ සිද්ධියට මුහුණ දුන් පවුල් 18ක් සහ අතුරුදන් වූ පුද්ගලයන්ගේ පවුල් 3ක් සඳහා නිවාස ඉදිකර ගැනීමට අක්කර භාගයක ඉඩමක් සහ රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම, ජනතාව මුහුණ දෙන ගැටලු සඳහා සෑම අවස්ථාවකදීම රජය මැදිහත් වන බවත්, උතුරේ ජනතාව සමඟ මිත්‍රශීලීව කටයුතු කරන රජයක් මීට පෙර නොතිබූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. නිවාස ආධාර හිමි වූ පවුල් 21 සඳහා ලබාදුන් අක්කර භාගයක ඉඩම්වල වගා කටයුතු සඳහා අවශ්‍ය පොල් පැළ සංකේතාත්මකව බෙදාදීමද මෙහිදී සිදු කෙරිණි. යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලන්කුමරන් සහ කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් එස්. මුරලිදරන් යන මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වූහ.

Post a Comment

0 Comments